උසස් පෙළෙන් පසු (After A Level) කාල සීමාව හරවත් ලෙස ගත කරන්නේ කෙසේ ද?

...

students

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන විභාග අතරෙන් අ. පො. ස. උසස් පෙළ (a level) කියන්නේ ඉතාම තරඟකාරී විභාගයක්. එය පසුගිය අගෝස්තු මාසයෙන් නිමා වීමත් සමඟ එහි ප‍්‍රතිඵල නිකුත් වන තෙක් ඇති කාලසීමාව වඩාත් ඵලදායී ආකාරයෙන් ගත කරන්නේ කෙසේද යන ආකාරය ඊට මුහුණ දුන් සිසුන් හට ඇති විශාල ගැටළුවක්.

උසස් පෙළෙන් පසු (After a level) කාලය වැදගත් වන්නේ ඇයි?

වසර 13ක් පුරාවට ඔබගේ සම වයසේ පසුවන මිතුරු මිතුරියන් හා ගැටෙමින් ගෙවූ කෙළිලොල් කාලය, පාසල් කාලයේ අවසානය සනිටුහන් කරන උසස් පෙළ (a level) කඩඉමෙන් පසු අවසානයට පත් වෙනවා. ඉන් පසු එකම ආකාරයකට ගෙවූ ජීවන රටාව මදක් වෙනස් කරමින් අවට සමාජය හා මුසුවෙමින් ජීවත් වීම ආරම්භ කිරීමට ඔබට සිදු වෙනවා. එනිසා මෙම අතරමැදි කාලසීමාව වඩාත් හොඳ තෘතීයික අධ්‍යාපනික, වෘත්තීමය හෝ වෙනත් ප‍්‍රයෝජනවත් කටයුත්තක් ආරම්භ කර පවත්වාගෙන යාමට වැය කිරීම තුළින් ජීවිතය වඩාත් හොඳ මාර්ගයකට යොමු කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

උසස් පෙළ (a level) අවසන් වූ වහාම සළකා බැලිය යුතු කරුණු මොනවා ද?

මෙවර විභාගයේ දී ඔබ බලාපොරොත්තු වූ අයුරෙන්ම පිළිතුරු සැපයීමට නොහැකි වූවා විය හැකියි. එසේත් නැතිනම් ඔබ විභාගයට මුහුණ දුන්නේ ඔබ වඩාත් ප‍්‍රිය කරන හෝ ඔබ වඩාත් දක්ෂතාවය දක්වන විෂය මාලාවෙන් නොවෙන්න පුළුවන්. එසේ නම් තවත් වරක් උත්සාහ කර බැලීම ඉතාමත් ප‍්‍රයෝජනවත් වේවි. මක්නිසාදයත් උසස් පෙළ (a level) හොඳ ප‍්‍රතිඵලයක් යනු ඉතා හොඳ උසස් අධ්‍යාපනයක් හෝ හොඳ රැකියාවක් සඳහා මූලික සුදුසුකමයි. ඒ වෙනුවෙන් වඩාත්ම සුදුසු සහ ඔබට අත්‍යාවශ්‍යම පුනරීක්ෂණ පන්ති තෝරාගැනීම හෝ විෂය මාලාව වෙනස් කර නැවත වරක් විභාගයට මුහුණ දීම හෝ කළ හැකියි.

නැවත විභාගයට මුහුණ දෙන අයෙකු නොවේ නම් ඇති මූලික විකල්ප මොනවා ද?

මෙහිදී බහුතරයක් පිරිස තෝරා ගන්නේ ඉංග‍්‍රීසි භාෂාව හැදෑරීමයි. එයට හේතුව ඉංග‍්‍රීසි ජාත්‍යන්තර භාෂාව වීම සහ රැකියාවක් සඳහා ඉල්ලූම් කිරීමේදී එය ප‍්‍රධාන සුදුසුකමක් වීමයි. මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව ප‍්‍රගුණ කිරීම ඕනෑම සුදුසුකම් ලත් ගුරුවරයෙකු යටතේ සිදුකළ හැකි වුවත් පිළිගත් ආයතනයකින් ඉංග‍්‍රීසි භාෂාව පිළිබදව වෘත්තීමය සහතිකයක් ලබා ගත හැකි වීම අනාගතයේදී රැකියාවක් සඳහා ඉල්ලූම් කිරීමේ දී අමතර වාසියක් බවට පත්වේවි.

දෙවනුව බොහෝ දෙනෙකුගේ තේරීමක් වන්නේ පරිගණක තාක්ෂණය පිළිබදව පාඨමාලාවක් හැදෑරීමයි. එයද ඉතා හොඳ අනාගත ආයෝජනයක් වුවත්, ඒ සඳහා තෝරාගනු ලබන පාඨමාලා ඉතාමත් හොදින් සිතා බලා තෝරාගැනීම සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස ඔබ පරිගණකය පිළිබද කිසිදු දැනුමක් නොමැති අයෙක් නම් වඩාත් සුදුසු වන්නේ පරිගණක තාක්ෂණය පිළිබදව මූලික දැනුම ලබාගත හැකි පාඨමාලවක් හැදෑරීමයි. එසේ නොමැති නම් ප‍්‍රචලිත පරිගණක භාෂාවක් (Computer Language), ජාලකරණය (Networking), ග‍්‍රැෆික් හෝ ත‍්‍රිමාණ සජීවීකරණය (Graphic or 3D Animation) පිළිබඳව පාඨමාලවක් යම්කිසි ආයතනයකින් හැදෑරීම හෝ අන්තර්ජාලය හරහා තනිව ඉගෙනීමට (Self Learning) ද අවස්ථාව ඇත. 

තවත් ජනප‍්‍රියම විකල්පයක් නම් කළමනාකරණ පාඨමාලවක් හැදෑරීමයි. එය ද කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළ වැටුපක් හිමිවන රැකියාවක් සඳහා ඉල්ලූම් කිරීමේදී අමතර වාසියක් වන අතරම ඔබගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා ද පහසුවක් එක් කරනු ඇති.

උසස් පෙළෙන් පසු (After a level) කාල සීමාව විනෝදාත්මක මෙන්ම ප‍්‍රයෝජනවත් ලෙස ගත කළ හැකි ආකාර මොනවා ද?

වෘත්තීමය සුදුසුකම් වලට අමතරව මෙම කාල සීමාව ඇතුළත ඔබට කළ හැකි තවත් කාර්යයන් තිබෙනවා. ඔබ සංගීතයට ලැදි අයෙක් නම් ඔබට හැකියාව තිබෙනවා ඔබ කැමති සංගීත භාණ්ඩයක් වාදනය ඉගෙන ගැනීමට.  එසේත් නොමැති නම් ඔබගේ ගායන කුසලතා වර්ධනය කරගැනීමට උත්සාහ කළ හැකියි.

එමෙන්ම ඔබට චිත‍්‍ර ඇඳීමට හැකියාවක් ඇත්නම් චිත‍්‍ර ඇඳීම මෙන්ම දිය සායම් හා තෙල් සායම් වැනි විවිධ මාධ්‍ය භාවිතා කර චිත‍්‍ර ඇදීම ද අධ්‍යයනය කළ හැකියි. තව ද ඔබට අළුත් නර්තන ශෛලියක් පුහුණු වීමටද කාලය යොදවන්නට පුළුවන්.

ඔබ ලිවීමට හැකියාවක් ඇති අයෙක් නම් ඔබට හැකියි පුවත්පත් වලට ලිපි ලිවීමට. එමෙන්ම ඔබේම බ්ලොග් (Blog) අඩවියක් ආරම්භ කර ඒ සඳහා ලිවීම කළ හැකියි. ලිවීමට ඇති හැකියාව මෙන්ම ඔබ සතුව ඉතා හොඳ පරිකල්පන ශක්තියක් තිබේ නම් හොඳ ගලා යාමක් සහිත කතන්දරයක් ලියා මුද්‍රණය කිරීමට ද පුළුවන්. එවිට පාඨකයන් ඔබව ලේඛකයෙකු ලෙස හඳුනා ගනිවි.

ඔබ තවමත් රියදුරු බලපත‍්‍රය ලබාගෙන නොමැති නම් රියදුරු පුහුණුව ලබා බලපත‍්‍රය ලබා ගැනීමට මෙම කාලය වෙන් කිරීමට ද ඔබට හැකියි. විභාගය නිසා මගහැරුන මිතුරු මිතුරියන් හා එක්ව විනෝද චාරිකා යාමෙන් මිතුරුකම් අළුත් වීම මෙන්ම විභාගය නිසා විඩාවට පත් වූ ඔබගේ මනස ද සැහැල්ලූවට පත් වේවි. තව ද ඔබට ඔබගේ මිතුරු මිතුරියන් කණ්ඩායමක් සමඟ හැකතන් (Hackathon), ඩේටාතන් (Datathon), CTF Challenge සහ ඔලිම්පියාඩ් වැනි තරග සඳහා වඩාත් හොඳින් පුහුණු වීමට හැකි අතර තාක්ෂණික සමුළු සඳහා ද සහභාගි විය හැකියි. එය ඔබගේ දැනුම වර්ධනයට, කණ්ඩායම් හැඟීම වර්ධනයට මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල යෙදීමේදී ද විශාල පිටුවහලක් වේවි.

මේ මාස කිහිපය ආර්ථිකමය අතින් ප‍්‍රයෝජනයක් ලැබෙන ලෙස ගත කළ හැකි ආකාර මොනවා ද?

ඔබ සතුව නිර්මාණශීලි අදහස් ඇත්නම් අතින් සකසන ලද සුබ පැතුම්පත්, ලී වලින් හෝ මැටි වලින් සකසන ලද විසිතුරු භාණ්ඩ මෙන්ම විශේෂයෙන්ම ඔබ ගැහැණු ළමයෙකු නම් අත්කම් නිර්මාණ ද සිදුකර අලෙවි කිරීම සඳහා වෙළඳ පොළට එක් කළ හැකිවේවි.

එමෙන්ම පාසල් සිසුන් හට කුඩා අමතර පන්ති පැවැත්වීම, නැවත උසස් පෙළට (a level) පෙනී සිටින සොයුරු සොයුරියන්ට පේපර් ක්ලාස් කිරීම වැනි දේ සඳහා ද ඔබගේ කාලය වැය කළ හැකියි.

ඔබ උසස් පෙළට (a level) ප‍්‍රථම වරට පෙනී සිටි අයෙක් නම් තවමත් ඔබේ වයස අවුරුදු 19යි. එසේ නම් ඔබට ඔබගේ දැනුම යොදවා සමාගමක් (Startup Company) ආරම්භ කළහොත් හොඳ නායකත්වයක් හා හැකියාවක් ඔබ සතු නම් කෙටි කාලයක් ඇතුළත ඔබට සාර්ථක කුඩා ව්‍යාපාරයක හිමිකරුවෙකු බවට පත් වීම වැළැක්විය නොහැකි වේවි. ඒ සඳහා ඔබට සම්පත්දායක මිතුරු මිතුරියන්ගේ ද සහයෝගය එක් කර ගත හැකියි.

මේ කාලය නිරෝගීභාවය වෙනුවෙන් කැප කරන්නේ කෙසේ ද?

උසස් පෙළ (a level) සඳහා සූදානම් වන කාලය අතරතුර ඔබ කිසිදු විටෙක ඔබගේ ශාරීරික සෞඛ්‍යය පිළිබඳව එතරම් තැකීමක් නොකරන්න ඇති. මේ ඒ වෙනුවෙන් අවධානය යොමු කළ හැකි හොඳම කාලයයි. උදෑසන හෝ සවස් කාලයේ ව්‍යායාම් කිරීමට යෝගා කිරීමට, පිහිනීමට, යම් ක‍්‍රීඩාවක් පුහුණු වීමට, කඳු නැගීමට හෝ සටන් කලාවක් ප‍්‍රගුණ කිරීම හෝ කළ හැකියි.

මෙයට අමතරව මෙම උසස් පෙළෙන් පසු කාලය හරවත් ලෙස භාවිත කළ හැකි ආකාර තිබේ ද?

ඔබ නිරන්තරයෙන් අන් අය පිළිබඳව සිතන පරාර්ථකාමි සිතුවිලි සහිත පුද්ගලයෙකු නම් මෙම වටිනා කාල සීමාව හරවත් අයුරෙන් ගත කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. අනාථ නිවාස, වැඩිහිටි නිවාස වැනි ස්ථාන සඳහා තම ශ‍්‍රමය යොදවා උපකාර කිරීමට, මේ දින වල වසංගතයක් ලෙස පැතිර තිබෙන ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අය හට උපකාර කිරීමට, මූල්‍ය අගහිඟතා නිසා අමතර පන්ති යාමට අවකාශයක් නොමැති දරුවන් හට අවශ්‍ය පාඩම් නොමිළයේ කියා දීම, වියපත් වූ ජේෂ්ඨ පුරවැසියන්ට මෙන්ම ආබාධිත තත්ත්වයට පත් වූ අය සඳහා උපකාර කිරීමට වැනි දේ සඳහා ඔබට තනිව හෝ ඔබගේ මිතුරු මිතුරියන් ද සමඟ ඉදිරිපත් විමට අවස්ථාව තිබෙනවා.

එමෙන්ම ඔබට හැකියාව තිබෙනවා විවිධ ස්වේච්ඡා සංගම් සමඟ සම්බන්ධ වී කටයුතු සිදු කිරීමට. එමඟින් අන් අයට උපකාර කිරීම, ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් ලැබෙන තෘප්තියට අමතරව කණ්ඩායමක් ලෙස ක‍්‍රියා කිරීමට අවශ්‍ය ගුණාංග ද වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. යම් අයෙකු හට ඉන් ලැබෙන ප‍්‍රතිඵලයක් දැකගත නොහැකි වුවත් ඔබගෙන් උපකාර ලබන අයගේ සතුට දැකීම තුළින් ඔබ හට ඉන් ලැබිය හැකි මානසික සුවය අතිමහත් ය.

මෙයට අමතරව ඔබගේ අදහස් ද comment එකකින් ඉදිරිපත් කළ හැකි නම් එය ඉතාමත් වටිනා දෙයක් වේවි.

5 I like it
0 I don't like it

Leave a Reply

You must be logged in to post a comment.