උසස් පෙළෙන් පසු අධ්‍යාපනය (Higher Education) සහ වෘත්තීමය අවස්ථා (Career Paths)

...

sabaragamuwa-university
Sabaragamuwa University Web

උසස් පෙළ විභාගය අවසන් වීමත් සමඟ ප්‍රතිඵල නිකුත් වන තෙක් ගත කරන කාලය (After A Level) වඩාත් හරවත් ලෙස ගත කරන ආකාරය අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කරනු ලැබුවා. නමුත් මෙම වසර අවසානයේ දී උසස් පෙළ ප්‍රතිඵල ලැබුණ පසු ඊළඟට කළ යුතු දේ පිළිබඳව මේ වන විටත් ඔබට ගැටළුවක් ඇති. ඔබගේ ප්‍රතිඵල මත ඔබට ඔබ ප්‍රිය කරන ක්ෂේත්‍රයක රැකියාවක් (Job) කිරීම සඳහා සුදුසු පාඨමාලවක් (Course) හැදෑරීම හෝ ඔබ සතුව මේ වන විටත් පවතින සුදුසුකම් වලට සරිලන රැකියාවක් (Job) සොයා ගැනීම හෝ කළ හැකියි. ඒ සඳහා ඔබට මේ අවස්ථාවේදී වඩාත්ම අවශ්‍ය වන්නේ උසස් පෙළ අවසන් වූ පසු වැඩිදුර අධ්‍යාපන කටයුතු (Higher Education) ඉදිරියට කරගෙන යාමට ද රැකියාවක් සඳහා යොමු වීමටද  (Job Opportunities) කියා තීරණය කරන්න.

1. වැඩිදුර අධ්‍යාපන අවස්ථා (Higher Education)

ඔබ බලාපොරොත්තු වූ ආකාරයෙන්ම විභාගයට මුහුණ දීමට හැකි වූවා නම්, හොඳ ප්‍රතිඵලයක් ලැබේයැයි විශ්වාසයක් ඔබ සතුව ඇති නම් උසස් අධ්‍යාපනය (Higher Education) පිළිබඳව දැන්ම සිතා බලා තිබීම ඔබට පහසුවක් වේවි. මෙහි දී ඔබ අධ්‍යාපනය හදාරන්නේ කුමන විෂය පථයක් ඔස්සේ ද, එය අනාගතයේ දී හොඳ රැකියාවක් (Career) සඳහා රුකුලක් වේ ද යන්න පිළිබඳව ද දළ අදහසක් ඔබට තිබිය යුතුයි. මෙහි දී ඔබට සළකා බැලිය හැකි විකල්ප කිහිපයක්ම තිබෙනවා. ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දුන් විෂය ධාරාව මත හෝ ඔබගේ කැමැත්ත මත සුදුසු උපාධියක් (Degree) හැදෑරීම, ඔබ කැමති රැකියාවක් (Career) සඳහා සුදුසු ඩිප්ලෝමාවක් (Diploma) හැදෑරීම හෝ වෙනත් වෘත්තීය සුදුසුකම් සඳහා අවශ්‍ය වන පාඨමාලාවක් (Professional Qualification Course) හෝ හැදෑරීම ඒ අතර වේ.

2. ප්‍රථම උපාධිය (Bachelor Degree)

Image credits : University of Sri Jayewardenepura

ඔබ බලාපොරොත්තු වන්නේ ප්‍රථම උපාධියක් සඳහා අධ්‍යයන කටයුතු සිදු කිරීමට නම් ඔබ ඒ සඳහා ඇතුළත්වන්නේ ශ්‍රී ලංකාවේ ඇති රජයේ විශ්ව විද්‍යාලයකට ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ද විදෙස් රටක විශ්ව විද්‍යාලයකට කියා තීරණය කර තිබීම අතිශය වැදගත්.
ඔබ ඇතුළත්වන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ඇති රජයේ විශ්ව විද්‍යාලයකට නම් ඒ එක් එක් පාඨමාලාවට සුදුසු ලෙස උසස් පෙළ සමාර්ථ තිබීම අත්‍යාවශ්‍ය කරුණක්. ශ්‍රී ලංකාවේ ඇති රජයේ විශ්ව විද්‍යාලයන් ලොව පිළිගත් විශිෂ්ඨ උපාධීන් පිරිනමන බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවන කරුණක්. නමුත් එයට ඇතුළත්ව වසර තුනක් හෝ හතරක් පුරාවට නොමිලයේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට වරම් ලබන්නේ අතලොස්සක් වැනි ඉතා සුළු පිරිසක්.
උසස් පෙළ සමත් වුවත් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට අවස්ථාව නොලබන නමුත් තරමක ආර්ථික තත්ත්වයක් ඇති පවුලක සිසුන්ට ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකි වීම ද උසස් අධ්‍යාපනය (Higher Education) සිදුකිරීමට තවත් හොඳ අවස්ථාවක්. ඒ සඳහා ඉඩකඩ ලබා දෙන විශ්ව විද්‍යාල හා ප්‍රතිපාදන කොමිශන් සභාවේ (University Grant Commission – UGC) ලියාපදිංචි කළ පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක්ම ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙනවා. ඒවාට ඇතුළත් වීමට අවශ්‍ය වන සුදුසුකම් අදාළ විශ්ව විද්‍යාලය අනුව වෙනස් වෙනවා. එම පෞද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයක් නම්,

  • National School of Business Management (NSBM)
  • Sri Lanka institute of Information Technology (SLIIT)
  • Colombo International Nautical and Engineering College(CINEC)
  • Aquinas College of Higher Studies
  • Institute of Chartered Accountants of Sri Lanka (ICA)
  • Asia Pacific Institute of Information Technology (APIIT)
  • Horizon College of Business and Technology
  • Highly Advanced Medical Technology Training Center (KAATSU)
  • SLT Campus
  • Sri Lanka Institute of Nano Technology
  • Saegis Campus
  • E Soft
  • IDM University

3. විදෙස් ශිෂ්‍යත්ව (Study Abroad – Scholarships)

මෙහිදී සිසුවෙකු හට ලබාගත හැකි තවත් වටිනා අවස්ථාවක් නම් ශිෂ්‍යත්වයක් හිමිකරගෙන විදෙස් රටක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමයි. මෙහිදී උසස් පෙළ විභාගයෙන් සැළකිය යුතු තරමේ ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ නම්, විදෙස් රටක විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් (Scholarship) සඳහා ඉල්ලුම් කළ හැකි වෙනවා. මෙම ශිෂ්‍යත්ව ආකාර දෙකකින් යුක්ත වෙනවා. ඒ පූර්ණ ශිෂ්‍යත්ව (Full Scholarship) සහ අර්ධ ශිෂ්‍යත්ව (Half Scholarship) වශයෙන්. පූර්ණ ශිෂ්‍යත්වයකදී සිසුවාට අදාළ අධ්‍යයන කටයුතු අවසන් වනතෙක් සියලුම වියදම් (University Fees and Stipend) මෙන්ම නවාතැන් පහසුකම් ද (Accommodation) අදාළ පාර්ශව විසින් දරණ ලබන අතර අර්ධ ශිෂ්‍යත්වයකදී පිරිනමනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ අදාළ පාඨමාලා ගාස්තුව (Course Fees), නවාතැන් පහසුකම් (Accommodation) සහ සිසුවාට එදිනෙදා වියදම් සඳහා සුළු මුදලක් (Stipend) ද පමණයි.

මෙහිදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් අධ්‍යයන කටයුතු සිදු කරන රටකට ඔබට ශිෂ්‍යත්වයක් හිමි වුවහොත් වසරක කාලයක් එම භාෂාව හැදෑරීමට ද ඔබට අවස්ථාව හිමි වෙනවා. අවසානයේ දී උපාධියට අමතරව තම මවු බස, ඉංග්‍රීසි බස සමඟම තවත් එක් භාෂාවක් හැසිරවීමට හැකියාව ලැබීම සහ ලොව පුරා විවිධ රටවල් ගණනාවක මිතුරු මිතුරියන් රැසක් හඳුනාගැනීමට හැකියාව ලැබීම මෙහි ඇති වාසි කිහිපයක්.

ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බොහෝ රටවල ශිෂ්‍ය වීසා (Student Visa) සහිත පුද්ගලයෙකු හට අර්ධ කාලීන රැකියාවක (Part Time Job) හෝ නිරත වීමට හැකියාවක් නොලැබෙන නිසා ශිෂ්‍යත්වයෙන් ලැබෙන මුදල (Stipend) ප්‍රවේශමෙන් භාවිත කිරීමට සිදු වීමත් ඔබ ශිෂ්‍යත්වය පිළිගත් වහාම ඔබට ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවකාශය නැති වී යාමත් සිදු වෙනවා. එසේම ඔබ ශිෂ්‍යත්වය පිළිගත් පසු අදහස වෙනස් වී ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කළහොත් වසර කිහිපයකට නැවත රජයේ ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කිරීමට හැකිවන්නේ ද නැහැ. එනිසා මෙය ඉතා හොඳින් සිතා බලා ගත යුතු තීරණයක් වෙනවා. ඒ පිළිබඳව වැඩි විස්තර සහ අයදුම්පත් අදාළ රටේ තානාපති කාර්යාලයේ (Embassy) වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ (Ministry of Higher Education) වෙබ් අඩවියෙන් හෝ ලබා ගත හැකිය. (Go to: https://www.mohe.gov.lk/index.php/en/scholaships/scholarships-for-local-students)

4. විදෙස් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම (Study Abroad – Direct Entry) 

ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට තරම් ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවේ නම් සෘජුවම එම විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමට ද ඔබට හැකියාව තිබෙනවා. නමුත් අධ්‍යයන කටයුතු සිදුකරන මුළු කාලසීමාව පුරාවටම එම රටේ ජීවත් වීමට සිසුවාට අවශ්‍ය වන එදිනෙදා වියදම්, ගුවන් ටිකට් පත සඳහා අවශ්‍ය වන මිළ මුදල් මෙන්ම විශ්ව විද්‍යාල ගාස්තු (University Fees) ද සිසුවා විසින් දැරිය යුතු වෙනවා. මෙහිදී ද අදාළ භාෂාව වසරක කාලයක් ඉගෙනීමට සිදු වීම, විවිධ රටවලට අයත් මිතුරු මිතුරියන් මුණගැසීමට හැකිවීමට ද හැකි වෙනවා. එමෙන්ම සමහර රට වල පමණක් ශිෂ්‍ය වීසා (Student Visa) සහිත පුද්ගලයෙකු හට අර්ධ කාලීන රැකියාවක (Part Time Job) හෝ නිරත වීමට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ.

5. බාහිර උපාධිය (External Degree)

Image credits : University of Sri Jayewardenepura

ඔබට විද්‍යා, ගණිත, කලා, වාණිජ හෝ තාක්ෂණික විෂය ධාරාවන්ගෙන් බාහිර උපාධියක් (External Degree) හැදෑරීමට ද අවස්ථාව තිබෙනවා. බාහිර උපාධියක් සඳහා ඉගෙනුම ලබන විටදී එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අදාළ විශ්ව විද්‍යාලය තුළ සිටිමින් අධ්‍යාපනය ලැබීම අවශ්‍ය වන්නේ නැහැ. එනම් ඔවුන්ට එම විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යභාවය හිමි නොවේ. නමුත් ඔවුන්ට විශ්ව විද්‍යාලයට සම්බන්ධ නැති පන්ති වල හෝ දුරස්ථ අධ්‍යාපන විකල්ප (Distance Learning) හෝ භාවිතා කළ හැකියි. ඔබ තෝරාගන්නේ බාහිර උපාධියක් කිරීමට නම් සුදුසු ලෙස විභාග සමත් වීමෙන් හෝ විවිධ පාඨමාලා (Courses)/ මොඩියුල (Module) වලින් සමන්විත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම තුළින් බාහිර උපාධියට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබෙනවා.

6. අන්තර්ජාලය හරහා උපාධි (Online Degrees) ලබා ගැනීම

එමෙන්ම අද වන විට දෙස් විදෙස් විශ්ව විද්‍යාල කිහිපයකින්ම අන්තර්ජාලය හරහා ද උපාධීන් (Online Degrees) පිරිනමනු ලබනවා. මේ සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකාවට මෙය තවමත් නව අත්දැකීමක් වුවත් ලොව අනෙකුත් රටවල අන්තර්ජාලය හරහා උපාධි (Online Degrees) ලබා ගැනීම ඉතා ජනප්‍රියයි. මෙහිදී අවශ්‍ය කෙරෙන අධ්‍යයන මාර්ගෝපදේශන (Study Guide), දේශන (Lectures) සහ අධ්‍යයන ද්‍රව්‍ය (Study Materials) සියල්ලම සපයනු ලබන්නේ අන්තර්ජාලය හරහායි.

7. ඩිප්ලෝමා පාඨමාලා (Diploma Courses)

ඩිප්ලෝමාධාරියෙක් වීම ද හොඳ රැකියාවක් (Career) සඳහා පදනමක් වේ. මෙහිදී ඩිප්ලෝමා කාණ්ඩ 2කි.

  1. උසස් ජාතික ඩිප්ලෝමාව (Higher National Diploma – HND)
  2. සාමාන්‍ය ඩිප්ලෝමාව (Diploma)

ශ්‍රී ලංකාවේ දී රජයේ විශ්ව විද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල හා පෞද්ගලික අධ්‍යාපන ආයතන විසින් ද ඩිප්ලෝමා පාඨමාලා පිරිනමනු ලබයි.

8. වෙනත් වෘත්තීය පාඨමාලා (Professional Qualification/ Certificate Courses)


ඔබ උසස් අධ්‍යාපනය (Higher Education) සඳහා යොමු නොවී උසස් පෙළ අවසන් කළ වහාම සෘජුවම රැකියාවක් (Career) ඉලක්ක කරගෙන සිටින්නෙක් නම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා සිටීම වඩාත් වාසිදායක වෙනවා. තොරතුරු තාක්ෂණ, කලමනාකරණය වැනි පාඨමාලාවන් පමණක් නොව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට ද ලංකාවේ රජයේ හා පෞද්ගලික ආයතන කිහිපයක් තුළින් වෘත්තීය සහ පුහුණු පාඨමාලා රාශියක් පිරිනමනු ලබනවා.

9. උසස් පෙළෙන් පසු රැකියා අවස්ථා (Job Opportunities after A Levels)


උසස් පෙළ අවසන් වූ පසු වැඩිදුර අධ්‍යාපන කටයුතු (Higher Education) සිදු කිරීමට බලපොරොත්තුවෙන් සිටින්නෙක් හට වුවද විශ්ව විද්‍යාලයට ඇතුළත් වන තෙක් හෝ තෝරාගත් යම්කිසි පාඨමාලාවක් ආරම්භ කෙරෙන තෙක් හෝ රැකියාවක (Job) නිරතවී අත්දැකීම් ලබා තිබීම (Experience) කාලයත් සමඟ වාසිදායක වෙනවා. ඒ සිය අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම රැකියාවක් (Job) සඳහා ඉල්ලුම් කිරීමේදී ඔබගේ ඉල්ලුම් පත්‍රයේ රැකියා පළපුරුද්ද (Job Experiences) යන කරුණ යටතේ ඔබ උසස් පෙළෙන් පසු සිදුකළ රැකියාවේ (Job) කාල සීමාව එක් කිරීම තුළින් අන් අයට වඩා වැඩි අවස්ථාවක් හිමි කර ගැනීමට හැකි වීම තුළින්.
ඔබ උසස් අධ්‍යාපනය (Higher Education) සිදු කිරීමට බලපොරොත්තුවක් නැතිනම් එය රැකියාවක් (Job) සඳහා ගැටළුවක් කර නොගන්න. උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම හොඳ රැකියාවක් (Job) සඳහා අත්‍යාවශ්‍ය කරුණක් නොවීම එයට හේතුවයි. ඔබට ඒ වෙනුවට ඔබගේ කැමැත්ත පරිදි තෝරාගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හොඳ රැකියාවක් (Job) සඳහා යොමු විය හැකිය. ඔබට වඩාත් සුදුසු රැකියාව (Job) තෝරා ගැනීමට නම්, එය සෙවීම කළ යුත්තේ කොතැනදැයි ඔබ දැන සිටිය යුතු වෙනවා.

ප්‍රවේශ මට්ටමේ රැකියා (Entry Level Jobs) සොයා ගත හැකි වෙබ් අඩවි:

ප්‍රවේශ මට්ටමේ රැකියා (Entry Level Jobs) සොයා ගත හැකි පුවත්පත්:

ශ්‍රි ලංකාවේ ඇති රජයේ විශ්ව විද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන මඟින් පිරිනමනු ලබන බාහිර උපාධි, අන්තර්ජාලය හරහා ලබාගන්නා උපාධි සහ ඩිප්ලෝමා පිළිබඳ ලැයිස්තුව මෙම ලින්ක් එක හරහා ඔබට ලබා ගත හැක. (List of Universities and Institutes that offer External Degrees, Diplomas and Professional Certificate in Sri Lanka) මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ රැල්ලට නොයා ඔබගේ අනාගතය සාර්ථක කරගත හැකි ඔබට ගැළපෙනම, ඔබ වඩාත් කැමැත්තක් දක්වන අවස්ථාව තෝරාගැනීමයි. උසස් පෙළ යනු අධ්‍යයන ජීවිතයේ තවත් එක් කඩයිමක් පමණක් බවත් ඉන් උසස් ලෙස සමත් වීම හෝ නොවීම මත ඔබගේ ජීවිතයේ සියලු දේ රඳා නොපවතින බවත් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම ඔබට ඇති එකම විකල්පය නොවන බවත් ඔබට Gurupaara.lk අපි නැවතත් සිහිපත් කරනවා.

0 I like it
0 I don't like it